ගිහි ගෙදර
අසංයත ලෝකාස්වාද රතියේ ගුඨස්ථාන හෙළිකෙරෙන
මානව චාරිතාංග රැගත්
පන්සිය පනස් ජාතකයේ
අන්ධභූත, දුරාජාන, මුදුලක්ඛණ, කුද්දාල
ඉල්ලිස, චූල පලෝහන, වාත සෛන්ධව
බ්‍රහ්මදත්ත,චුල්ල ධනුර්ධර, තක්කාරිය
හිස,මහ පලෝභන, සාම්බූලා, සරභංග
නලිනිකා, කුණාල හා මුගපක්ඛ යන
සතළොසක් කතා වස්තු,
වර්තමානිකයන්ගේ ජීවිත පරිඥානය සඳහා
යතු මැද පුරුද්දා නවකතාවක් සේ
මෙසේ ප්‍රතිනිර්මාණය කළ වගයි.
සුදු නෙළුම
“මායිම් ගම්මානෙක අනාථ දැරියක බව සොයිසා මහතාගෙනුයි දැනගන්න ලැබුණෙ.”
“ඒ වගක් හාමුදුරුවොත් දන්නව එහෙනම්? මගේ මහත්තයා මේකිට අනුකම්පාකරලා උස්සාගෙන ආවෙ නැත්නම් මෙලහට මේකිගෙ ඇටකටුත් නෑ. කරුමදන්ඩක් හාමුදුරුවනේ! මේකිගෙ පවට වෙන්න ඇති පවුලෙ ඔක්කොම කොටි මරාදාන්න ඇත්තෙ. මේකි ඉන්න ගමකටවත් හොඳක් වෙන්නෙ නෑ. හෙට අනිද්දා ළමිස්සි වුණාම මට මුරදාන්නයි වෙන්නෙ.”
“මහත්මියගෙ කැමැත්ත මේ දැරියගෙන් අත්මිදීම ද?”
“මේකිට මා අතින් මොනව වෙයි ද දන්නෙ නෑ.”
මෙතෙක් වේලා දොර මුල්ලේ ගුලි ගැසී හුන් දැරිය තෙරණුවන් වෙත දණගාමින් පැමිණ පෙරළුණාය.
“අනේ හාමුදුරුවනේ මේ නෝනා ළඟට මට යන්න බෑ! මට කවුරුවත් නෑ. මාව මරාවි! මේ පන්සලේ මාව තියාගන්න හාමුදුරුවනේ.”
තෙර තරණය (සුදු නෙළුම – 2)
“අනේ නායක හාමුදුරුවනේ, රාහුල නායක හාමුදුරුවො විහාර මළුව පල්ලමේ පඩි පෙළෙන් වැටුණා ! මම උස්සාගෙන ඇවිත්….”
“මොනවා? කවුද උන්නාන්සේව කන්දට දොක්කාගෙන ගියේ?”
“උන්නාන්සේ ම යි මට කතාකළේ. මම පරිස්සමෙන් එක්කං ගියා. බුදුපිළිම වහන්සේට බිම දිගාවෙලා යි වන්දනාමාන කෙළේ. බුදුන් වහන්සේගෙන් සමුගත් බවකුත් මට කියා සිටියාය! ඇඳිරියත් සමඟ යි පල්ලම බැසීම ඇරඹුවෙ. විහාර මළුවේ දී බොහෝ දෙනා සමඟ කතාබහේ යෙදුණු නිසා එහි පැයකටත් වැඩි වේලාවක් රැඳීසිටීමට සිදුවුණා.”
“ඕවා නොවෙයි, මොකද දැන් නායක හාමුදුරුවන්ට, තුවාල ද?”
“පේන්න තුවාලයක් නම් නැහැ. ඒත් අංශයක් පණ නැහැ වගෙ. කතාකරන්නත් බැහැ.”
අරලිය මල් ආරාමය
“උන්නාන්සේ තොට මේ අහවල් වැඩේ කළා නම් මෙතෙන්ට වඩීද? උන්නාන්සෙගෙ මූණ දැක්ක ගමන් මාව දැපනය වැටුනා.”
“ඒක තමයි මට උනෙත්…”
“මේකි කන්න එපැයි මේ කියන කතාවට. තොට හෙණ හත ගහනව බොල”
“අම්ම ඉතින් හාමුදුරුවන්ගෙන් අහල බලන්නකො ඇත්ත. ඉවරයිනෙ”
“තෝ අපිට පටලෝනවා. නූල් බෝලෙ වගෙ පටලෝනවා.”
“පටලවාගෙන තියෙන්න අම්මලානෙ. මම ඔව් කියනවා. අම්මල නෑයි කියනවා. හාමුදුරුවන්ගෙන් අහන්නෙත් නැතිව. මම නෙ දන්නෙ වෙච්ච දේ. ඒ වෙලාවල්වල හාමුදුරුවන්ගෙ ඔය සිල් මොකුත් තිබුණෙ නෑ.”
සිල් සුවඳ
“ඔබ බ්‍රහ්මචරියාව රකින බවට හා සත්‍යවාදී වන බවටත් ප්‍රතිඥා දී තිබෙනවා?”
“මම පින්තූරය බැලුවා පමණයි ලොකු හාමුදුරුවනේ.”
“බලා එය සිතින් හැලුවා නම් කමක් නැහැ. එය මගෙන් වසංකොට මුසා බස් ද දෙඩුවා නොවැ? මම ඔබට සෙසු බොහෝ උපාධ්‍යයන් වහන්සේ මෙන් නිරතුරුව කෙවිටිකරන්නේ, දොසක් දුටුවිට බැණවදින්නේ නැහැ නොවැ? මම ඔබට සපයා ඇත්තේ අවවාදයට වඩා ආදර්ශය යි. ඔබ නොසංසුන්. සංසුන්වන්න ආනන්ද. සිත පැවිදි කරන්න. පැවිද්ද බන්ධනයකැ යි සිතෙනවා ඇති? ගිහි ජීවිතය සුන්දර යයි මිහිරි යයි හැඟෙනවා ඇති? ඒ හා ඇලෙන්නත් ආසාවෙන් පසුවෙනවා ඇති? එසේ නොවේ ද ආනන්ද?”
SIL SUWANDA
උපේකා
පද්මාවතී ළිප ළඟ බංකු පොඩ්ඩේ හිඳගෙන තේමිය කුමාරයා සිහිපත් කළා ය. පැවදිව හුදෙකලාව වනයෙහි වාසය කරන පුත් කුමරා බලන්ට පිය රජතුමා දිනක් ගියේ ය. ඔහු බලාපොරොත්තු වූයේ රළු වනයෙහි වන ඵල අහරකොට ගනිමින් ජීවත්වන තම පුත් කුමරා අතිශයින් කෘෂව ජරාජීර්ණව දුකට පත්ව ඇතැ යි කියා ය. එහෙත් බොහෝ පැහැපත්ව ප්‍රබෝධමත්ව ඔහු එහි පසුවනු දුටු රජතුමා මවිතයට පත්ව, මේ කටුක වනයෙහි මෙසේ පැහැපත්ව පසුවන්නේ කෙසේ දැ යි, ප්‍රශ්න කෙළේ ය. “අතුරනලද කොළ ඇතිරියෙහි තනිව නිදමි. කඩුගත්තාවූ රාජාරක්ෂකයෝ මා වටා නැත්තෝ ය. අතීතය ගැන සිතා ශෝක නොකරමි. අනාගත ප්‍රාර්ථනා ද නැත. වර්තමානයෙන් යැපෙමි. මේ නිසා පිය රජතුමනි මට මැනවින් නිදි ලැබේ. ශරීර වර්ණය පැහැපත් වේ. සෝ තැවුලක් නැත.” තරුණ තේමිය තවුසා පිළිතුරු දුන්නේ ය.