වරවණ්ණනී
ගෑනු අපි ඉවසන්න ම ඉපදිච්ච ජාතියක් බං. අපි ඉපදිච්ච දා ඉඳලා විඳවන එකනෙ බං කරන්නේ? තුන් මහක් ගිය තැන කන් දෙකම විදිනවා. ඊට පස්සේ තඩියෝ, උකුණෝ කහ කහ කොණ්ඩේ වවනවා. රෑක තොටක, මහ මගක තනියම යන්න නෑ. අවුරුදු දහ දොළහක් ගියා ම මාස් වේදනාව. එතන ඉඳන් හැමදාම මොකක් හරි වේදනාවක්. කසාද බැන්දොත් බැඳපු මිනිහට වාල්කම් කරගෙන ඉන්න ඕන. කන්න බොන්න ටිකේ ඉඳන් අමුඩ රෙද්ද පවා හෝදන්න ඕනි. එතැන ගිහින් නැන්දම්මලගෙ, නෑනලගෙ ඉඳන් හැම එකාගෙම රෙස්පොට් බලන්න ඕනි. ඊට පස්සෙ වදපංකෝ දරුවෝ. උන්ට තියෙන්නෙ හති අරින්න විතරයි. අපි තමයි උස්සගෙන ඉන්න ඕනි. දරුවෙක් උන්නත් ප්‍රශ්න, නැතැත් ප්‍රශ්න. අපේ ඕනකමක් කවමදාවත් අපිට කොර ගන්න ලැබෙන්නෙ නෑ. එදා ඉඳන් මිනිහට ඕනෑ විදියට නෙවේ ළමයින්ටත් ඕනෑ විදියටයි අපිට ඉන්න වෙන්නේ. අන්තිමට ඉතින් කවදහරි තවත් ලේලියෙක්ගෙන් වෙනස්කම් විඳ විඳ මැරෙනකල් ම ජීවත් වෙන්නයි වෙන්නේ ?
පවුරු බිද
අල්ලාගත් මාළු කූරීන් පීතරගෙ කඩයට දී ඒ මුදලට ආප්ප රැගෙන මම ගෙදර ගියෙමි.මම ආප්ප ටික ලොකු අක්කාට දුනිමි. අම්මා කොණ්ඩය පීරමින්කුස්සියට ආවේ ඒ අතරය.චූටියා අම්මාගේ චීත්තයේ ඒල්ලී හඬමින් එයි.
“කට පියාගෙන හිටපිය… ආයෙ බලියන්න පටන් ගත්තොත් දෙනවා තොට පොල් පිත්තක්අරං.. ඇයි යකෝ තොපිලගෙ සුමේ කරලම මට නිදහසක් නෑ.. එළිවෙච්ච වෙලේ ඉදලම මටවද දෙනවා…
ලොකු අක්කාත් මමත් මූණෙන් මූණ බලා ගත්තෙමු. අම්මා ළමයින් වැදුවා විතරය. උන්ව හදන්නේ ලොකු අක්කාය. නංගිලා මල්ලිලා රංචුවේ සියලු දහදුක විඳින්නේ ලොකු අක්කාය.
“කොයින්ද උඹට ආප්ප ගත්ත සල්ලි..?”අම්මා මගෙන් ඇසුවේ අක්කා අත වූ ආප්පයක් කඩා කටේ දමා ගනිමින්ය.” මං මාළු අල්ලල වික්කා…”
“ඔක්කොම වික්කද?.…… නොදකින් අපටත් දෙන්නෙක් ගේන්න එපායැ. යකෝ මේකට
තව පොල්කිරි ටිකක් දැම්මනම්. කිරි පීතරගෙ ගෑනිගෙන් ගන්නවා වගේනෙ හරියට … පොල්කිරි පෙන්නලා විතරයි..”අම්මා රස පරීක්ෂා කොට ගුණ දොස් කීවාය..”ලොක්කි…මං යනවා. එද්දි හවස් වෙයි. ලොකු හාමිනේලගෙ දිහා හෙට වතා දානෙ. මං වී කොටලා දෙන්න යනවා. මේකෙම රිංගගෙන ඉදලා හරියන්නෑ. යන ලෝකෙටත් මොනාහරි කරගන්න ඕන…”