ඉසිදාසි
“ගෑනියෙක් හිමකිරමක් වගේ දියවෙන්නේ
ඒ ගෑනිගෙ පපුවට දැනෙන්න ආදරේ කරන
උණුසුම් හිතක් තියෙන පිරිමියෙක්ගෙ අසීමිත ආදරේ
ළඟදි විතරයි සුධීර…
ඔයා රත්තරන් කූඩුවක් හදලා
මාව ඒක ඇතුළෙ හිරකරලා
ඔයාට ඕන ඕන විදිහට ජීවිතේ විඳිද්දි
අපි දෙන්නගෙ හිත් අතරෙ කොන්ක්‍රීට් තාප්පයක් හැදුණා.
මම ඔයාගෙ කූඩුවෙන් ඉගිලුණේ නිදහස හොයාගෙන නෙවෙයි.
මට නොලැබුණු ආදරේ හොයාගෙන…”
කුරවි
”පිරිමියෙකුට ඕනෙ දුකක් විඳින්න පුලුවන් කියලා තමයි ගෑනු හිතන්නේ.ඒත් හිත කඩා වැටුණු තැන්වල ගෑණුන්ටත් වැඩිය අසරණ වුණේ පිරිමි පණ දීගෙන ආදරේ කළත් හුඟක් ගෑනු නොදන්න ඇත්ත ඒකයි.
පිරිමි අපිටත් හුඟක් වෙලාවට වැරදෙන්න තැනක් තියනවා.ආදරේදී, බැඳීම්වලදි අපි හැම තිස්සෙම සංවේදී නැහැ.ඒත් ගෑනු එහෙම නෑ.
ආදරේ වෙනුවෙන් පණ වුණත් දෙනවා.ඒත් ඒ හිතේම තරහක්, වෛරයක් ඇති වුනොත් එච්චර කල් දේවතාවියක් වගේ හිටපු ගෑනිට ඊට පස්සේ කාලි අම්මත් පැරදෙනවා.
මමත් ඒ වැරැද්ද කරපු මිනිහෙක්.ඒකෙන් කෑලි කෑලිවලට කැඩුණේ මගේ හිතමයි.හිත බිඳුණු පිරිමි හරි නිශ්ශබ්දයි; ගැඹුරුයි.එහෙම හිතක් අයේ හදන්න පුලුවන් වෙන්නේ නිස්කලංක ගෑනු හිතකට විතරයි.
අස්ත බන්ධන
“සංසාරයෙන් සංසාරෙට පතාගෙන එන්නේ අපිට ආදරේ කරන,
අපි ආදරේ කරන අයම විතරක් නෙවෙයි. කිසිම හේතුවක් නැතිව
මේ ආත්මෙ අපිට වෛර කරන, හිත් රිදවීම් කරන සමහර අය
පෙර ආත්මෙක තමන් එක්ක වෛරයෙන් හිටිය අය වෙන්නත් පුළුවන්.
ජීවිතේ කියන්නේ සංසාර ගනුගෙනු පියවෙන තුරු නැවත නැවතත්
ඔවුනොවුන් එකට මුණ ගැසෙන පුදුමාකාර චක්‍රයකට. එක එක්කෙනාගේ
පවු පින් අනුවයි ඒ සංසාර චක්‍රය ගෙවෙන්නෙ. ලේ බැදීම් තියෙන
තමන්ගේම කියන අය වෛරක්කාරයෝ වෙද්දී සමහර වෙලාවට කිසිම
නෑකමක් නැති පිටස්තර අය පුදුමාකාර ගැඹුරු බැදීමකින් හිත්වලින්
බැදෙන්නෙත් සංසාරේ තමන් කරපු පව් පින් අනුවයි.”අස්ත බන්ධන ඔබට කියන්නේ බැදීම් ගැන ඒ හෘදයංගම කතාවයි.